2016 ඔක්තෝබර් 21 වන සිකුරාදා

එයාලා රවට්ටනවා මෙයාලා රැවටෙන්න බලන් ඉන්නවා

 2016 ඔක්තෝබර් 21 වන සිකුරාදා, පෙ.ව. 12:00 147

උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර සැකැසීමේ ප‍්‍රධානියා හැටියට දිගු කලක් කටයුතු කළ මහාචාර්ය ඩැනී අතපත්තු මහතා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අඛණ්ඩව ලේඛනයෙහි නිරත වූ විද්වතෙකි. ගත වූ වසරේ ආර්ථිකය හා ආණ්ඩුව මුහුණ දෙන අයවැය අභියෝගය ගැන ඔහු දක්වන්නේ මෙවන් අදහසකි.

 

ආණ්ඩුව ගත වූ වසරක පාලන කාලයේදී අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්තිය පැහැදිලි නැතැයි ඇතැමුන් චෝදනා කරනවා. ඔබ දකින්නේ කොහොමද?
වරින් වර විවිධ ප‍්‍රකාශ නිකුත් කරනවා. නමුත් තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. නිශ්චිත ආර්ථික සැලැස්මක් කියන කාරණය දියුණු වූ රටවල් දෙස බැලූවාම පේනවා. මේ ආණ්ඩුව එවැනි වැඩසටහනක් ඉදිරිපත් කර නෑ. මේ රජය බලයට පත්වෙලා දැන් අවුරැදු දෙකකට ආසන්න වෙන්න යනවා. ගමන්මඟ විටින්විට වෙනස් වෙනවා. මුල් අයවැය ලේඛනය හොඳ දැක්මක් ඇතුව ඉදිරිපත් කළත් අන්තිම වෙනකොට ඒක සංශෝධනය වෙලා, විකෘති වෙලා ගියා. 


යා දෙක නොරත රත පක්ෂ දෙකක් එකට එක්වීම නිසා නිශ්චිත ආර්ථික ප‍්‍රතිපත්තියක් සකසා ගැනීමට අපහසු බවට වූ තර්කය ඇත්ත වෙලාද?
මම හිතන්නෙත් ඇත්ත. එකිනෙකට නොගැළපෙන පක්ෂ දෙකක් එකතු වෙලා සම්මුති ගමනක් යන්න උත්සාහ කරනවා. නමුත් ඒක නිරන්තරයෙන් ඝට්ටනය වෙනවා. මේ පක්ෂ දෙකේ ආර්ථික දර්ශන එකිනෙකට වෙනස්. වැදගත්ම කාරණය වන්නේ නිදහසින් පසු ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප‍්‍රබලවම බලපෑ ජාතින් අතර අසමගියයි. මේ ආණ්ඩුවත් බලයට එද්දී කිව්වෙ කාටත් එක ලෙස ජීවත් වෙන්න හැකි රටක් හැදීමට ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ කරන බවයි. තාමත් ඒක කරගැනීමට නොහැකි වී තිබෙනවා. අද වනවිට උතුර දකුණ අතර කිසිම සමගියක් නෑ. දේශපාලන න්‍යාය පත‍්‍ර තිබුණාට කමක් නෑ. මේවා ජාතික ප‍්‍රශ්න. මේවා කල්දාන්න කල්දාන්න බලපාන්නේ ආර්ථිකයටයි. දේශපාලනයයි ආර්ථිකයයි කියන්නෙ එකිනෙකට වෙන්කරන්න බැරි දේවල්. 


ශක්තිමත් වූ ජාත්‍යන්තරයේ අපේ පදනම මත ශ‍්‍රී ලංකාව තුළ බලවත් ආර්ථිකයක් ගොඩනැගීම” යන්න අගමැතිවරයාගේ නොවැම්බර් 5 නව ආර්ථික වැඩපිළිවෙළේ තේමාවක් වුණා. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ සමඟ උත්සන්න වෙන දේශපාලන නොපෑහීම් මේ පදනමට කෙසේ බලපාවිද?
පැහැදිලිවම. මේ රජය බලයට පත්වුණාට පසුව අත්කරගත් ජයග‍්‍රහණ හැටියට මට කිවහැක්කේ යහපාලනය ස්ථාපිත කිරිමට ගත් පියවර හා රටක් හැටියට ජාත්‍යන්තරය තුළ අත්කරගත් කීර්තියයි. හැබැයි යහපාලනය සම්බන්ධයෙන් ආයතනික ව්‍යුහයන් සකස් කළාට ක‍්‍රියාවෙන් එය සිදුවනවාදැයි දැන් අපට සැක මතුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා මෑතකාලයේ කළ ප‍්‍රකාශ බැලූවාම පෙනෙන්නේ ආපස්සට යන්න හදන බවයි. ඉහත කී කාරණා නාමික ජයග‍්‍රහණ හැටියට සැළකුවාට ආර්ථිකය පැත්තෙන් විශාල පසුබෑමක් තමයි දකින්නට ලැබෙන්නේ. විදේශ වෙළෙඳම ගත්තාම ද්විත්ව පරතර කියන තත්ත්වය ඇතිවෙලා. අපි පිටරටට විකුණනවාට වඩා එහෙන් ගෙන්වන ප‍්‍රමාණය වැඩිවෙලා. විදේශ විනිමය ප‍්‍රශ්නය ඇතිවෙලා. ආදායම වර්ධනය වනවාට වඩා විශාල වේගයකින් වියදම් වර්ධනය වෙලා. මේ ප‍්‍රශ්න දෙකට ස්ථිරසාර පිළිතුරැ අවශ්‍යයයි. තාමත් තිබෙන්නේ ඇඟලුම් මුල් කරගත් යල්පැන ගිය අපනයන ව්‍යුහයක්. විදෙස්ගත ශ‍්‍රමිකයන් එවන සල්ලි මත යැපෙන්නේ. එහෙත් මැද පෙරදිග පවතින අස්ථාවරත්වය හමුවේ ඒ ගැන දිගුකාලීනව බලාපොරොත්තු තියාගන්න බෑ. ගෝලීය තරගකාරිත්වය නමැති ජාත්‍යන්තර දර්ශකයෙහි මේ වනවිට අපි ගොඩක් ආපස්සට ගිහිල්ලා. ගිය අවුරැද්දේ 68 සිටියා. දැන් ඒක 71 වෙලා. අපේ තැන වෙනත් රටවල් විසින් අද අල්ලාගෙන තිබෙනවා. ඒක අපට වෙච්ච ලොකු හානියක්. 


වෙළෙඳාම ලිහිල්කරණය හා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් ආණ්ඩුව විශාල විශ්වාසයක් තබා තිබෙනවා. මේ බර තැබීම් නිවැරුදිද?
මේ දේවල් සමඟ අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයයි. ගොවි, ධීවර කර්මාන්ත ශක්තිමත් කළ යුතුයි. වී නිෂ්පාදනය ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනවත් නැති බවටත් වියදම් අධික බවටත් වෙනත් බෝගවලට යෑම ලාභදායී බවටත් මත පලවෙනවා. නමුත් ආහාර සුරක්ෂිතතාවය කියන්නේ රටට ඉතාම වැදගත් දෙයක්. එය නොමැතිව රටකට පවතින්න බෑ. වියදම් අඩු කරගන්නා අතරේ නව තාක්ෂණය භාවිත කරලා ඵලදායිතාව වැඩි කළ යුතුයි. එබඳු වැඩපිළිවෙළකුත් නෑ. කර්මාන්ත සංවර්ධනය පැත්තෙන් ගත්තත් එහෙමයි. මේ කාරණා එක්ක බැලුවාම ආණ්ඩුව ඉදිරි කාලයේදී හරියටයයි කියන විශ්වාසයක් නෑ. දේශපාලන න්‍යාය පත‍්‍රවලින් තොරව රට ගැන හිතන වැඩපිළිවෙළක් අවශ්‍යයයි. ඒත් විපක්ෂයේ අයටත්  ඕනෑ බලයම විතරයි. 


ලංකාවෙ දේශපාලන පක්ෂ සමඟ දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවත් බෙදිමකට ලක්ව තිබෙනවා. ලංකාවෙ ධනපති පංතියක් නැද්ද?
අපේ රටේ ධනපති පංතියක් කියලා එකක් හරියට නිර්මාණය වෙලා තිබුණේ නෑ. රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් තිබුණේ. ප‍්‍රධාන ආයෝජකයා විදියට විශාල වශයෙන් කටයුතු කළේත් රජයමයි. ඒකෙන් වුණේ ශක්තිමත් ව්‍යාපාරික පංතියක් නිර්මාණය වීමට තිබූ ඉඩ වැළලීයාමයි. අද අපේ දේශීය ව්‍යාපාරික පංතියත් භේදබින්න වෙලා තිබෙන්නේ. 

 


ආයෝජනවල තත්ත්වය කෙබඳු ද?
අය කරන ඉහළ බදු සම්බන්ධයෙන් ආයෝජකයන්ට විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වන්නේ අවිනිශ්චිතතාවයයි. උදාහරණයකට වරාය නගර ව්‍යාපෘතිය රජය බලයට පත් වූ ගමන් කිසිදු වගවිභාගයකින් තොරව අත්හිටෙව්වා. දැන් ඒක ආපහු ක‍්‍රියාත්මක වෙනවා. මේවා දැක්කම ආයෝජකයෝ බය වෙනවා. 

 


අධ්‍යාපන ක‍්‍රමය හා ආර්ථිකය අතර මනා සම්බන්ධයක් නැති බවට චෝදනා තිබෙනවා. ඔබ දෙන පිළිතුර?
සංවර්ධනය ගැන කතා කරනවා නිපුණතා අත්‍යවශ්‍යයයි. ඒ කියන්නෙ ශක්තිමත් ශ‍්‍රම හමුදාවක්. දැන් බොහෝ කර්මාන්තකරැවන් පැමිණිලි කරන්නේ ලංකාවේ ශ‍්‍රමය නෑ කියලයි. ඒ කියන්නේ ගැලපෙන ශ‍්‍රමය. ඒක හදන්න  ඕනේ අධ්‍යාපන ක‍්‍රමයෙන්. පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන පද්ධති දෙකම මේ තත්ත්වයට වගකියන්න  ඕනෑ. අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය කියන්නේ සංවර්ධනයේ මූලික පදනමයි. මේවාට කළ යුතු ප‍්‍රතිසංස්කරණ තාමත් කඩිනමින් සිදුවන්නේ නෑ. දකුණු කොරියාව, ජපානය වැනි රටවල ආර්ථික වර්ධන වේගය බැලුවොත් නියමුවා හැටියට ක‍්‍රියාත්මක වුණේ මානව සම්පතයි. ඵලදායිතාව, නවෝත්පාදනය, නව තාක්ෂණය නිෂ්පාදන ක‍්‍රියාවලියට ඇතුළුවන්නේ ඒ හරහායි. නමුත් මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ. 

 


දැනුම මුල්කරගත් තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කියමින් ආණ්ඩුව ඔය දේවල් ගැන අදහස් පළ කළා. ප‍්‍රශ්නය වෙලා තිබෙන්නේ ඒ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වීමේදී නේද?
ලස්සන වචනවලට හොඳයි ඒවා. සෝෂල් මාකට් ඉකොනොමි වගේ ඒවා වචන හරඹ තමයි. ප‍්‍රතිපත්ති, දර්ශන විතරක් මදි. ඒවා ක‍්‍රියාත්මක වන උපායමාර්ග තිබෙන්න  ඕනෑ. ඔය ජාත්‍යන්තර ගිවිසුම් වගේ ඒවා ඉතාම වැදගත්. නමුත් ඒවත් හරියට නෑනෙ. විපක්ෂය මොකක් හරි කිව්වොත් ආණ්ඩුව ඒක හකුලාගන්නවා. අපේ අසල්වැසියා හැටියට ලෝකයේ වේගවත්ම ආර්ථික වෘද්ධිය තිබෙන රට ඉන්දියාවයි. ඒක චීනයේ වේගයත් අභිබවනවා. එවැනි රටක් සමඟ එකතුවීමෙන් අපට විශාල ප‍්‍රතිලාභ ගන්න පුළුවන්. අපනයන ශක්තිමත් කරලා ගෙවුම් ශේෂ හිඟය පියවාගැනීමට ඕනෑ නම් එවැනි පියවරවලට යා යුතුමයි. 

 


ඔබ කියන්නේ දේශපාලන නායකත්වයේ ප‍්‍රශ්නයක් කියාද?   
නායකයෝ දෙන්නා වැඩිපුර ඉන්නේ විදෙස් රටවල. ඒ අය ජාත්‍යන්තර කීර්ති නාමය උස්සන්න උත්සාහ කරනවා. නමුත් රටේ අභ්‍යන්තර ආර්ථිකය තිබෙන්නේ විශාල අර්බුදයක් හමුවේයි. මූලික ප‍්‍රශ්නවලට තාම විසඳුම් නෑ. ණය බර එන්න එන්න වැඩිවෙලා. 

 


එට්කා සම්බන්ධයෙන් වෘත්තිකයන්, වෘත්තිය සමිති හා දේශපාලන කණ්ඩායම් විශාල විරෝධයක් ගොනුකරද්දී නායකයන් ඊට මුහුණ දෙන ආකාරය ප‍්‍රශස්ත යැයි කිවහැකිද?
ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න  ඕනෑනෙ. මේ ගිවිසුම මොකක්ද, ඒක රටට හිතකරද අහිතකරද කියලා හරියට රටට කියන්න  ඕනෑ. ඒවා ගැන කිසි සංවාදයක් නෑනෙ. මේක රහස්‍ය ලියවිල්ලක් වගේ තියෙනකොට කාටත් සැක ඇතිවෙනවා. ඇත්තටම එහෙම ලියැවිල්ලකුත් නෑ. අනෙක් අතට ගිවිසුමක් කිව්වාට ඉන්දියාව ඒක අපේ මත බලෙන් පටවන්නේ නෑනෙ. අපි ඒකට අත්සන් කරන්නේ කියවලා බලලානෙ. ඒවා පාර්ලිමේන්තුවෙ හා ජනතා වේදිකාවල සංවාදයට ලක් කළ යුතුයි. එහෙම නැතිව විවේචන එනවා කියලා බයේ හැංඟිලා සිටීමෙන් ඵලක් වෙන්නේ නෑ. 

 


සංවර්ධනය සඳහා ඒජන්සි, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ ඒජන්සිය ආදී ආයතන ගණනාවක්ම යෝජනා වුවත් ඒවා ක‍්‍රියාත්මක වන ස්වභාවය ගැන රටට පැහැදිලි චිත‍්‍රයක් නෑ. මේ අපැහැදිලිභාවය ඉදිරියට යාමට බලපාන්නේ නැද්ද?
නොගැළපෙන පාර්ශ්ව දෙකක් එකට එකතුවීම තමයි මූලිකම ප‍්‍රශ්නය. කෙනෙක් කරන යෝජනා තව කෙනෙක් ප‍්‍රතික්ෂේප කරනවා. ඒ පාර සංශෝධනය කරනවා. එක දර්ශනයක් ඇතුළේ වැඩක් එක දිගට කරගෙන යන්න බෑ. මේ විදියට ගමනක් යන්න හැකිද කියන එකම ප‍්‍රශ්නයක්. 

 


ආණ්ඩුවට මේ අයවැයේදී මුහුණදීමට සිදුවන ප‍්‍රධානතම අභියෝග හැටියට ඔබ දකින්නේ මොනවාද?
බජට් එක කියලා හුදු යෝජනාවලට සීමා නොවී ආණ්ඩුව කලින් ඉදිරිපත් කළ මධ්‍යකාලීන වැඩසටහනේ හැටියට ආවොත් තමයි හොඳ. 

 


ලංකාවේ අයවැය පරිපාලනය සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට තිබෙන අඩු අවබෝධය රාජ්‍ය පාලනයට ප‍්‍රශ්නයක් වී ඇති බව ආර්ථික විශේෂඥයන් අවධාරණය කරනවා. ඒ තර්කයේ ඇත්ත නැත්ත කෙසේද?
ඒක ඇත්ත. ඒ වගේම මහජනතාවත් එහෙමයි. තාවකාලික වාසි තමයි බලන්නේ. ඒ අය රවට්ටනවා. මේ අය රුවටෙන්න බලාගෙන ඉන්නවා. මහජනතාවට පටි තද කරගන්න කියන ආණ්ඩු ආදර්ශ දෙන්නෙත් නෑනෙ. හොඳම වාහන ටික ගන්නවා. දීමනා වැඩි කරගන්නවා. සවුදි අරාබිය දිහා බලන්න. අර්බුදය හමුවේ ඔවුන් වැටුප් අඩුකරගන්න තීරණය කරලා තිබෙනවා. පහසුකම් කපාහරින්න තීරණය කරලා තිබෙනවා. නමුත් අපේ රටේ කාටවත් ජාතික හැඟීම් කියලා දෙයක් නෑ. බලය තමයි  ඕනෑ. ආත්මාර්ථයම තමයි. 

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීමත් සමඟ ආර්ථික අර්බුදය ජයගැනීමේ දිශාවට යන බව ආණ්ඩුවේ ප‍්‍රධානින් පවසනවා. ණය ගත්තාට එය කළමනාකරණය කරගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබේද? 
අයි.එම්.එෆ් එක ලොකු ණයක් දීලා නෑ. බිලියන එකහමාරක්නෙ. ණය  මුදලට වඩා මෙතැන වැදගත් වන්නේ පිළිගැනීම. ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒක හොඳ සහතිකයක්. අපි ඒක පාවිච්චි කරලා වැඩ ටික කරගන්න ඕනෑ. හැබැයි අනෙක් රටවල් එක්ක ගත්තාම ලංකාවට ආයෝජන එන්නේ ඉතාම අඩුවෙන්. 

 


එක පැත්තකින් පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර මහජනයාම දරනවා. අනෙක් අතට ඒවා පෞද්ගලීකරණයට ආණ්ඩුව කැස කවන බවට චෝදනා එල්ල වෙනවා. මේ උභතෝකෝටික ගැටලුව ලිහාගන්නේ කවදද?
මිනිස්සුන්ගේ හිතේ තිබෙන්නේ හැම දෙයක්ම රජය කරන්න  ඕනෑ කියලයි. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර එන්නෙත් මහජනතාව පිටමයි. වැඩියෙන් බදු අයකරන්න වෙන්නේ මේවා නිසයි. එක්කෝ මේවා වහලා දාන්න ඕනෑ. නැත්නම් ප‍්‍රතිසංස්කරණයක් වෙන්න  ඕනෑ. ගොඩක් වෙලාවට මෙහෙම පාඩු ලබන්න හේතු බැලුවාම තිබෙන්නේ කළමනාකරණයේ අකාර්යක්ෂමතාවයි. සුදුස්සන් පත්කරලා නෑ. ලංකාවට වඩා රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් සිංගප්පූරැවෙ තිබෙනවා. නමුත් ඒවා ඉතා සාර්ථකයි. ඒවා දේශපාලනීකරණය වෙලා නෑ. එවැනි දේ ලංකාවට හඳුන්වා දෙන්න දේශපාලකයන් බයයි කියලයි මට නම් හිතෙන්නේ. හරි දේ හරියට කරන්න දේශපාලන ධෛර්යක් තිබිය යුතුයිනෙ. අවාසනාවට අපේ රටේ පාලකයන්ට වගේම මහජනතාවටත් දැක්මක් නෑ. 

සංවාදය:- බිඟුන් මේනක ගමගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00